Saturday, June 21, 2014

වාස්‌තු විද්‍යාවෙන් හෙළිවෙන ජීවන මගේ රහස්‌

වාස්‌තු විද්‍යාවෙන් හෙළිවෙන ජීවන මගේ රහස්‌

ඩී. යූ. සෙනරත්
විවශ්වාන් ගුරුකුල වාස්‌තු ශාස්‌ත්‍රඥ

වාස්‌තු විද්‍යාව යන වචනය ඇසූ පමණින් අප සිහියට නැගෙන්නේ ඉදිකිරීමේ ශිල්පිය නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පය යන්නයි. "වාස්‌තු" යන වචනය සංස්‌කෘතික භාෂාවෙන් ලද වචනයක්‌ වන අතර එහි අර්ථය "ගෘහය" නැතහොත් "නිවස" යන්නයි. වාස්‌තු ශිල්පය පිළිබඳව නූතනයේ විශාල උද්යෝගයක්‌ ඇතිවී තිබීම ඉතා සතුටට කාරණයකි. වාස්‌තු ශිල්පයේ විහිදී ගිය අතුපතර පිළිබඳව විශාල දැනුම් සම්භාරයක්‌ නූතනයේ නොතිබුණ ද වාස්‌තු යනු ගෘහ නිර්මාණ ශිල්පය යන්නයි, යන හුදු ලඝූ අර්ථයෙන් හෝ නූතන සමාජයේ නිවාස ඉදිකිරීමේ අවධානයට ලක්‌වී තිබීම අගේ කළ යුතුවේ.

වාස්‌තු ශිල්පය යන මාහැඟි ශිල්පීය ඥානය ලෝවැස්‌සන්ගේ හිතසුව පිණිස පෘථිවි තලය මත ජනිත කළේ ප්‍රඥව දියුණු කළ අතීතයේ විසූ සෘෂිවරුන් බව අප දන්නා කරුණකි. භාරත දේශය නැතහොත් බුදුවරු පහළ වන ජම්බුද්වීපයේ උපන් මෙම මාහැඟි ශිල්ප ශාස්‌ත්‍රයන් සියල්ල මේකල ලෝවාසීන්ගේ හිත සුව පිණිසම විය. බුදුවරුන් ජනිත කළ භාරත දේශයෙන් උපන් චතූර් විද්‍යාවන් හට අයත් වාස්‌තු ශිල්පය තුළින් එකල භාරතයේ ජනයා පමණක්‌ නොව පෙර අපරදිග සකල ලෝකවාසීන්ම විපුල ඵල නෙළා ගත් බව ඉපැරණි ග්‍රන්ථ පරිශීලනයේදී පැහැදිලි වේ. මෙකල බිහිවූ සෑම ශිල්ප ශාස්‌ත්‍රයක්‌ තුළින්ම සිදුවූයේ ලෝකයාහට සෙතක්‌ ශාන්තියක්‌ ඇතිවීමයි. එසේ වුවත් ලෝභ, ද්වේශ, මෝහ, අන්ධකාර පටල තුළින් මතුවන නව තාක්‌ෂණික ශිල්ප ක්‍රම මගින් ලෝකවාසීන්ම සිදුවී ඇත්තේ ඇත්තටම සෙතක්‌ ශාන්තියක්‌ ද යන්න පිළිබඳව අප වඩාත් හොඳින් විමසා බැලීම වටී. අතීතයේදී අධ්‍යාත්මික චින්තන හැකියාව තුළින් ලොවට ලබාදුන් වාස්‌තු ශිල්පය වැනි මාහැඟි ශිල්පයක්‌ තුළින් අපට ලබාගත හැකි ඵල ප්‍රයෝජන අතිමහත් වුවද අප එමගින් අල්පයක්‌වත් ලබා නොගන්නා බව නොරහසකි.

වාස්‌තු ශිල්ප තුළින් නිවසක්‌ ඉදිකර ගැනිමේ සිට නගර නිර්මාණය, උයන් වතු නිර්මාණය, විශාල වාරි නිර්මාණ , මංමාවත් නිර්මාණය, සොබා දහම තුළ සොබා දහමේ ශක්‌තීන් උපයෝගී කර ගනිමින් සිදුකරන්නේ කෙසේද යන්න පෙන්වා දී ඇත. විශේෂයෙන්ම මේ ලෝක ධාතුවේ ඇති සෑම ජීවී අජීවී වස්‌තුවක්‌ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ගේ එකතුවෙන් නිර්මාණය වී ඇති අතර, ආකාශ ධාතුව තුළ චලනය වේ. එනම් පංච මහා භූතයන් ලෙස ද මේවා හැඳින්වේ. මෙම බෙදීමෙන් ඉවත් කළ හැකි කිසිවක්‌ ලෝකයේ නොමැති බව ප්‍රත්‍යක්‍ෂ සත්‍යයකි. එබැවින් සත්ත්වයෙක්‌ මේ ලෝකයට ජනිත වන නිමේශයේ ඔහුගේ කුසල්, අකුසල්වලට අනුරූපිවන ශක්‌තීන්වලට අනුකූලව සතර මහා ධාතුන් එකලස්‌ව පවතී. මේ තුළ කිසියම් ජීවවී ශක්‌තියක්‌ පවතී. ජ්‍යෙdතිෂයට අනුව ජන්ම පත්‍රයේ ජන්ම නැකත ලෙස සඳහන් කෙරෙන්නේ උපතේදී ලබා ගත් ශක්‌තියේ තරමයි. මෙය අස්‌විද, බෙරන, කැති, රෙහෙන, පුවපල්, මුවසිරස යනාදී වශයෙන් නැකත් 27 කින් හඳුන්වනු ලබයි. නැකත යන වචනය පිළිබඳව නූතනයේ එතරම් පිළිගැනීමක්‌ හා විශ්වාසයක්‌ නොමැති කොටස්‌ සිටී. ඇත්තටම එම අවිශ්වාසය ගොඩනැගී ඇත්තේ නොදැනුවත්කම නිසාමය. නැකත කියූ පමණින් එය නොතේරුණත් ශක්‌තීන් යන වචනය යෙදූ විට එය පැහැදිලි වේ. නැකත යනු ශක්‌තිය යන වචනයෙන් ගැනෙන අර්ථයයි.

මේ ආකාරයට කෙනෙක්‌ උත්පත්තියේදී ජන්ම ශක්‌තිය ලැබෙන අතර එමගින් ඔහුගේ උපතේ සිට මරණය දක්‌වා සියල්ල පෙළගැසී තිබේ. ඒ ආකාරයටම අප විසින් ගොඩනගනු ලබන ගෘහයද සතර මහා ධාතූන්ගෙන් සමන්විත වී ඇති බැවින් එහි වර්ග වඩු රියන් ප්‍රමාණය මත නිවසේ ශක්‌තිය මැනිය හැක. එය නිවසේ නැකත ලෙස හඳුන්වයි. වාස්‌තුවේදී ගෘහ පිණ්‌ඩය ගෘහ හිමියාට සිහුම් කිරීම ලෙස සිදු කරනු ලබන්නේ ගෘහ මූලිකයාගේ ශක්‌තියට ගැලපෙන ලෙස සාදනු ලබන ගෘහයේ ශක්‌තිය එකිනෙකට ගලපා බැලීමයි. එවිට මෙම ශක්‌තීන් දෙක එකතුවීමෙන් යහපත් බලයක්‌ හෝ අයහපත් බලයක්‌ හට ගනී. නිවසේ බලය සහ ගෘහ හිමියාගේ බලය එකට එකතු වූ විට සම්පත්, පරම මෛත්‍රී, මෛත්‍රී, ක්‍ෂේම, සාධක, ජන්ම වැනි යහපත් බලගැන්වීම ඇතිවිය හැකි අතර සමහර විටක ප්‍රත්‍යාධාරී, වධ, විපත් වැනි අයහපත් බලගැන්වීම් සිදුවිය හැක.

මේ ආකාරයට වාස්‌තු ශිල්ප ක්‍රම උපයෝගීකොට ගෙන නිවසක උද්දීපනය වන බලයන් මිනුම් ගත කළ හැකිය. මෙම ගොඩනැගෙන බලයේ තරාතිරම තුළ එම නිවසේ ජීවත්වන නිවැසියන්ගේ ජීවන ගමන්මගේ තුන්කල් පිළිබඳ පුරෝකථනයන් සිදු කළ හැකිය.

මේ ආකාරයට නිවසක ද්වාර සටහන පිළිබඳ විමසීමේදී විශ්ව ශක්‌තිය සම්ප්‍රේෂණය වීමේ හැකියාවන් දුර්වල වීම හෝ තීව්‍රර වීම සතර දිsශාවන්ට අනුරූපීව තීරණය වන බව සඳහන් වේ. නිවසේ ද්වාර සටහන සෑම විටම නිවසේ ප්‍රධාන දිශාවන්ට පමණක්‌ අනුගත කොට දක්‌වන අතර ඒ අනුව නිවසේ ද්වාර සටහන් පිහිටවනු ලැබේ. සෑම විටම නිවසේ ප්‍රධාන දොරට සාපේක්‌ෂව නිවසින් පිටවීමේ අනෙකුත් ද්වාරයන් සක්‍රීයවීම සිදුවේ. ඒවා ද්වාර සටහන් ලෙස හඳුන්වයි.

1. උතුර + දකුණ } රිපුද

2. උතුර + බටහිර } නාශ

3. උතුර + බටහිර + නැගෙනහිර } ආක්‍රාන්ධ

4. උතුර + නැගෙනහිර } උග්‍ර

5. උතුර } දුර්මුඛ

6. නැගෙනහිර + දකුණ } නන්ද

7. බටහිර } බර

8. නැගෙනහිර + බටහිර } කාන්තා

9. නැගෙනහිර } ධාන්‍ය

10. උතුර + දකුණ + නැගෙනහිර } ධනද

11. උතුර + බටහිර + දකුණ } සුමුඛ

12. උතුර + දකුණ + නැගෙනහිර + බටහිර } විජය

13. බටහිර + දකුණ } මනෝරම්‍ය

14. දකුණ } ජය

15. උතුර + දකුණ + බටහිර } විපුල

16. උඩ දිසාව (ජදරාහ හ්රා) } උර්දුමුඛ

යනාදී වශයෙන් යහපත් හා අයහපත් ද්වාර සටහන් 16 ක්‌ දක්‌වා ඇත. මෙවැනි ද්වාර සටහන් සහිත නිවාස 100 ක්‌ පරීක්‍ෂා කළ හොත් නිවාස 80 කට වඩා මෙම ලක්‌ෂණයන් ගෙන් සමන්විත වන බව තහවුරු වේ. එයින් හැගෙන්නේ වාස්‌තු සිද්ධාන්ත අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සක්‍රීයව පවතින බවයි. නිවසේ නැගෙනහිර + දකුණ සහිත නන්ද ද්වාර සටහන නිර්වචනය ලෙස දක්‌වා ඇත්තේ "ස්‌ත්‍රී විනාශය" යන්නයි. මෙම නිවාසවල පොදු ලක්‍ෂණය වී ඇත්තේ නිවසේ ගෘහ මූලිකයා මරණයට පත්වීම, හැරයැම, සදාකාලික දුබලතා වැනි කරුණු සිදුවීමයි. ස්‌ත්‍රී විනාශම් ලෙස දක්‌වන ලද මෙම ද්වාර සටහන් බලපෑම් කරන්නේ පිරිමියා වෙතයි. එහි අහිතකර බලපෑම් ස්‌ත්‍රිය වෙත ලැබෙන බැවින් ස්‌ත්‍රී විනාශම් ලෙස දක්‌වා ඇත.

එමෙන්ම ප්‍රධාන ද්වාරයේ පියන එළියේ සිට අරින විට වම් පැත්තට විවෘත වීම හා දොර පියන නිවසින් පිටතට විවෘත වීම යනාදී කරුණු ද්වාර සටහන සමඟින් එකට දිවෙන දෝෂයන් ලෙස ක්‍රියාත්මකව පවතී. වාස්‌තුවේ සඳහන් කොට ඇති පරිදි විශ්ව ශක්‌තිය ඊශාන දිශාවෙන් නිවසට ඇතුළු වී බ්‍රහ්ම පාදයේදී එය උපරිම නිවස තුළ විහිදී නිරිත දිශාවෙන් පිටවීම සිදුවේ. මේ නිසා නිවසේ ඊශාන කොටස දුර්වල නොකොට නිදහස්‌ව පිරිසිදුව පවත්වා ගැනීම මෙන්ම නිවසේ මධ්‍ය ලක්‍ෂය නිදහස්‌ව හා පිරිසිදුව පවත්වා ගත යුතුවේ. එවිට විශ්ව ශක්‌තියේ යහපත් ප්‍රතිඵල නිවසට ලබා ගැනීමට හැකිවේ. ඊශාන දිශාව අවහිර කොට මධ්‍ය ලCෂ්‍යය දුර්වල වූ විට විශ්ව ශක්‌තියේ යහපත් ප්‍රතිඵල නිවසට ලබා ගැනීමේ අවස්‌ථා අහිමි වී යනු ඇත. මෙවැනි නිවාසවල පොදු ලක්‌ෂණ වන්නේ රෝගාබාධ බහුලවීම හා නිවසේ රැඳීමට නොහැකි වීමයි.

දිශානුගතකරණය වාස්‌තු ශිල්පයේදී යොදනු ලබන ප්‍රධාන ක්‍රම උපායක්‌ ලෙස සැලකේ. ද්වාර පිහිටුවීමේදී සතර දිශා යොදා ගත්තද ගෘහ අංග දිශානුගතකරණය කිරීමේදී අට දිශා යොදා ගනී. මෙම දිශා යොදා ගනිමින් නිවසේ පරිහරණය සීමාවන් ස්‌ථානගත කිරීම කළ යුතුය. මුළුතැන්ගෙය, ප්‍රධාන නිදන කාමරය, සාලය, විසිත්ත කාමරය වැසිකිළි, පඩිපෙල් බැල්කනි, ගබඩා කාමර, ළමා කාමර, අධ්‍යයන කාමර, ගරාජ ආදී වශයෙන් නූතන නිවසේ ගෘහ අංග ස්‌ථාන ගතකිරීම නිසි ලෙස සිදුකිරීම කළ යුතුය. අතීත නිවසේ පැවැති යම් යම් ගෘහ අංග නූතන නිවසේ දක්‌නට නොලැබෙන අතර නව ගෘහ අංග එකතු වී ඇත. එසේ වුවත් පරිහරණ කාර්යය අනුව ඒවා දිශානුගත ද කිරීම නිසි පරිදි සිදු කළ යුතුව ඇත. මෙසේ ගෘහ අංග දිශාවන් අනුව පිහිටීම තුළින් නිවසේ කටයුතු ඉතා පහසුවෙන් හා සැහැල්ලුවෙන් පවත්වාගෙන යැමේ හැකියාවක්‌ පවතී, එසේ නොවුන කළ නිවස තුළ අපහසුතාවයන් ගොඩනැඟේ. නිදසුනක්‌ ලෙස මුළුතැන්ගෙය සඳහා ගිණිකොණ හා වයඹ දිශාවන් ඉතාමත් සුදුසුවන අතර ඊශාන දිශාව ඉතා අයහපත්වේ. ගිනිකොණ වයඹ මුළුතැන්ගෙය පිහිටා ඇති නිවාස පරීක්‍ෂාවේදී ඉතා යහපත් ප්‍රතිඵල දැකිය හැකි අතර ඊශාන දිශාවේ මුළුතැන්ගෙය පිහිටුවා ඇති නිවසවල පොදු ලක්‌ෂණය වන්නේ ඉතා අයහපත් ප්‍රතිඵල ඇති කිරීමකි.

මේ ආකාරයට නිවසේ ප්‍රධාන නිදන කාමරය සඳහා ඉතාම සුදුසු දිශාව වන්නේ නිරිත දිශාවයි. එසේම ඉතා අයහපත් දිශාවන් ලෙස ඊශාන, ගිණිකොණ දිශා පෙන්වා දිය හැකිය. නිරිත දිශාවේ ඇති ප්‍රධාන නිදන කාමර භාවිතා කරනු ලබන ගෘහ හිමියන්ගේ පොදු ජීවන රටාව ඉතාමත් යහපත් වන අතර ඊශාන, ගිණිකොණ දිශාවෙ කල් ගෙවන අඹුසැමියන්ගේ පොදු ලක්‍ෂණය වන්නේ දරුඵල අහිමිවීම, සැකය, අඩදබර, අයුතු සම්බන්ධතා හා රෝග පීඩා බහුලවීම යන ලක්‌ෂණයන් බහුල වීමයි. එසේම ගිණිකොණ දිශාවේ මුළුතැන්ගෙය උඩ ප්‍රධාන නිදන කාමරය පවත්වාගෙන යන නිවාසවලද ඉහත ලක්‌ෂණ බලපා ඇත. ළමුන් සඳහා භාවිත කළ හැකි සුදුසුම දිශාවන් ලෙස උතුරු, ඊශාන පෙන්වා දී ඇති අතර, නිරිත, ගිණිකොණ දිශාවන් ඉතා අයහපත් බව පෙන්වා දී ඇත. අයහපත් දිශාවන්ගේ ස්‌ථානගත වී ඇති ළමා කාමර පරීක්‍ෂාවේදී ළමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල්වීම හා නොමගයැම බහුල බව පෙනුණ ලක්‌ෂණ වන අතර ඊශාන දිශාවේ කල් ගෙවන ළමුන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණුවේ.

මේ ආකාරයට වාස්‌තු සිද්ධාන්ත යොදාගෙන විවිධ මානයන් තුළ නිවාස පරීක්‍ෂා කිරීමේ හැකියාවන් පවතී. නිවසක සකස්‌විය යුතු වාස්‌තු සිද්ධාන්ත රාශියක්‌ ඇත. එයින් ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත ගලපා ගැනීම කළ යුතුම දෙයකි. ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත 03 ක්‌ නොගැලපී යැම තුළ එම නිවස වාස්‌තු දෝෂයන්ට ලක්‌වීම සිදුවේ. විශේෂයෙන් වාස්‌තු මර්මස්‌ථාන 03 ක්‌ අයහපත් ලෙස යෙදීම තුළ ගෘහ හිමියාගේ මරණය පවා සිදුවීම දක්‌නට ලැබේ. කෙසේ වුවද කෙනෙකුගේ කර්ම ශක්‌තියේ, කුසල මූලයන් බලවත් නම් නිවසක වාස්‌තු දෝෂයක්‌ තිබුණද ඒවායේ බලපෑම ප්‍රබල නොවිය හැක. එහෙත් කර්ම ශක්‌තිය පිළිබඳව අනාවැකි ඵල කිරීමක්‌ හෝ ඒවා පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාවක්‌ නොමැති බැවින් සෘෂිවරුන්ගෙන් ලැබී ඇති මෙම මාහැඟි ශිල්පයේ ආරක්‌ෂාව ලබා ගැනීම අපට කළ හැකි දෙයකි. පුද්ගලයෙකු විසින් පරිහරණය කරන කරනු ලබන ගෘහය පිළිබඳ සිදුකරනු ලබන විධිමත් වාස්‌තු විශ්ලේෂණයකින් අනතුරුව එම පුද්ගලයාගේ අතීත, වර්තමාන, අනාගත ජීවන රටාව පිළිබඳව හා සිදුවීම් පිළිබඳව පුරෝකථනය කිරීමේ හැකියාව, වාස්‌තු විද්‍යාව තුළ පවතී. එසේ හෙයින් මෙම වාස්‌තු ශිල්පය හුදෙක්‌ නිවාස ඉදිකිරීම හා සම්බන්ධ විෂයයක්‌ පමණක්‌ නොවන අතර පුද්ගලයාගේ ජීවනමගේ තුන්කල් කිව හැකි මාහැගි විෂයක්‌ ලෙස භාවිත කළ හැකි බව මනාව පැහැදිලි වේ

No comments:

Post a Comment